Monday 9 August 2010

විචාර හරඹ

මරණෙ හොඳ විෂයකට ප්‍රවේශ වෙලා තියනවා. මටත් මේක ලියන්න හිතුණෙ මරණෙගෙ ලියවිල්ල දැක්කමයි. සාහිත්‍ය කීවම ඉතින් විචාරකයා කියන වචනෙත් ඒ එක්කම බැඳිල තියන දෙයක්. කොහොම වෙතත් අද සාහිත්‍ය විචාරයට වඩා ප්‍රචාරයක් තියන බවනම් පේනවා.

මට හිතෙන්නෙ පාඨකයයි සාහිත්‍ය කෘතියයි අතරෙ දුරස්ථ බව බිඳින්න විචාරකයෙක් ගොඩක් උදව් කරනවා. අපි අලුත් පොතක් ගැන හරි සිනමා පටයක් ගැන හරි දැනගන්නෙ බොහෝ විට ඒ ගැන මාධ්‍ය තුළින් කෙරෙන පූර්ව විචාරයක් නිසයි.

මතවාදී සංවාද ඇතිවිය යුතු දෙයක් වුණත් පුද්ගලික පහර ගැසීම් විචාරකයෙකුට තරම් නොවන දේවල්. සාමාන්‍යයෙන් අපි ගොඩක් කැමතියි අපි කියවපු පොතක් ගැන, බලපු චිත්‍රපටියක් ගැන තවත් කෙනෙකුගේ අදහස් කියවන්න. අද පුවත්පත් මාධ්‍යයෙන් ඒකට හොඳ ඉඩක් දීල තියනවා. කියවන සමාජයක් බිහිකරන්න සාහිත්‍ය විචාරකයෙකුට ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන් බව එකෙන් පේනවා.

ඒත් අද සමහර විචාර පාඨකයා අතරමං කරවන සුළුයි. සමහර සාහිත්‍ය විචාරකයන් පෞද්ගලික හිතවත්කම් මත ආර්ථික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් සමහර කෘති පිළිබඳ විචාර ලියන හැටි පැහැදිලිව පේනව. අනිත් කාරණේ තමයි මරණෙ කීව වගේ පුද්ගලික අමනාපකම් මත නිර්දය විවේචන සිදුකිරීම. මේකෙන් අතරමං වෙන්නෙ පාඨකයයි.

ඔය ඊනියා මතවාද දරමින් අපැහැදිලි චින්තනයන් සමාජගත කරන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවනෙ. සමහර විචාර කියවද්දි අපිට හරි වෙහෙසක් දැනෙනව. හරියට යකඩ කනව වගේ අමාරුයි. සමහර විචාරකයන්ගෙ සංවාද අතරෙ අපි හුදෙකලා වෙනව. තමන් තේරුම් ගත්තත් අනිත් අයට තේරුම් කරන්න නොදැනීමත් සමහර විචාරකයන්ගෙ දුර්වලතාවයක් විදියට මං දකිනව.මට හිතෙන්නෙ කෘතියට වඩා කර්තෘ ඉස්මතු වෙනකොට තමයි මෙහෙම "අවිචාර" සිද්දවෙන්නෙ.

No comments:

Post a Comment