Tuesday 21 September 2010

අපි කාටද බය

"මියගිය රියදුරා නොසැලකිල්ලෙන් රියපදවා 10කට මරු කැඳවයි"
"කන්නත අසලින් ගිය තරුණියට මියගිය තරුණයන්ගෙන් අතවර"
"මියගිය සොරු රැලක් ගෙයක් බිඳ කෝටියක මුදල් පැහැරගනී"
"මියගිය ත්‍රස්ථවාදියාගෙන් මරාගෙන මැරෙන ප්‍රහාරයක්"
"මියගිය පොලිස් කොස්තාපල් අල්ලස් ගනී"
"මියගිය පාතාල නායකයා මිනීමරයි"
"මෝචරියේ තිබූ මළ මිනියගෙන් රොගී තරුණියකට අතවර"

මේ වගේ ප්‍රවෘත්තියක් අපි කාටවත් ජීවිතේට දකින්න ලැබිලා ඇති කියලා මන් නම් හිතන්නේ නැහැ ඒත් ඔය හැම එකම අපි හැමදාම පත්තර වල දකිනවා පොඩි වෙනසකුත් එක්ක. ඒ වෙනස තමයි මියගිය කියන කොටස නැතුව. ඔය වගේ මෙකී නොකී සියළු අපරාධ කරන්නේ මියගිය නැත්නම් මැරුන අය නම් නෙමෙයි පණ තියෙන අය.

ඒත් අපි බය මැරුණ මිනිස්සුන්ට. අපි කාටවත් කිසිම කරදරයක් කරන්නේ නැති මැරුණ අයට, පණ තියෙන මිනිස්සු බයයි. පණ තියෙන මිනිස්සුන්ට කරදර කරන පණ තියෙන මිනිස්සුන්ට කවුරුත් බය නැහැ.

දෙනෝදාහක් දෙනා ගැවසෙන නගරයක් මැද්දෙන් යන්න කවුරුත් බය නැහැ ඒත් ඒ යද්දි බෝම්බයකට, ගුටි ප්‍රහාරයකට, සොරකමකට නැත්නම් වෙන ඕනෑම කරදරයකට ලක් වෙන්න පුළුවන් ඒත් අපි යන්න බය නැහැ. ඒත් මළමිනී දාහක් තියා එකක් දෙකක් තියෙන තැනකට යන්න කවුරුත් ටිකක් විතර බයයි.

රෑට කනත්තක් මැද්දෙන් යන ගෑනු ලමයෙක්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ ඒත් රෑට තියා දවල්ට උනත් ගෑනු ලමයෙක්ට කරදරයක් නැතුව සෙනඟ ඉන්න බස් එකක යන්න බැහැ. පණ තියෙන මිනිස්සු මැරිච්ච අයටත් වඩා අන්ත ද?

හැබෑටම බය වෙන්න ඕනේ මළ මිනිස්සුන්ටද පණ තියෙන මිනිස්සුන්ටද????