Sunday 20 March 2011

ප්‍රේම පුරාණය

සුනේත්‍රා රාජකරුණානායකගේ නවකතා පොතක් තමා ප්‍රේම පුරාණය කියන්නේ ඒත් මට නම් ඒක කෙටිකතා තියෙන නවකතා පොතක්. මේක මන් කී  සැරයක් කියවලා තියෙනවද කියලා මට මතක නැහැ මේ දවස් වල ආයි කියවනවා. එකිනෙකට වෙනස් ප්‍රේමයන් ගැන කතා කීපයක්ම ඒ පොතේ තියෙනවා. පළවෙනි කතාව කියවද්දි මට හිතිච්ච දෙයක්.

අපි ආදරේ කරන කෙනාගේ ජීවිතේ අපිට අයිති දෙයක් ද? එතකොට එයාට කියලා ජීවිතයක් නැද්ද? තමන්ගේ ජීවිතය අහිමි කරගැනීම අනෙකා වෙනුවෙන් කැපකිරීම කියලා හඳුන්වන්න පුළුවන්ද? තමන්ට තමන් අහිමි උනාම තව කෙනෙක් වෙනුවෙන් ආදරයක් හිතේ ඇතිවෙයිද?

අපි හැමෝම තනිකඩව ඉන්නකොට අසීමිත නිදහසක් බුක්ති විඳිනවා. වැඩිහිටියන්ගේ පාලනය යටතේ උනත් තමන්ට තමන් වෙනුවෙන් ජීවිතයක් තියෙනවා. ඒත් ඔය නිදහස තව කෙනෙක් සමග සම්බන්දයක් ඇති උන ගමන් නැති වෙලා යනවා. එතකොට අපි හදන්නේ අනෙකාව අපේ කරගන්න. එතනදි වෙන්නේ අනික් කෙනාගේ ජීවිතය නැති වීම කියලා මම නම් හිතන්නේ.

පිරිමියා නම් වැඩියෙන් ගහැනිය පාලනය කරන්න හදනවා. ගැහැනියත් පිරිමියාව යම්තාක් දුරට පාලනය කරන්න හදනවා. දෙදෙනෙක් අතර සම්බන්දයක් ඇති උන පලියටම අනෙකාව පාලනය කරන්න අයිතියක් ලැබෙනවද? ආදරය කියන්නේ අයිති කරගැනීමද?

මට තේරුන විදිහට නම් පොඩි කාලේ ඉඳන් ආදරේ කලත් අවුරුදු ගානකට පස්සේ හම්බ උන රවී ගැන නිර්මලාගේ හිතේ තිබ්බ ආදරේ රවී, නිර්මලාව පාලනය කරන්න ගිය නිසා නැති උනා. ආදරේට වඩා මිනිස්සුන්ට නිදහස වටිනවද මන්දා

ප්‍රේම පුරාණය ගැන මෙතනත් තියෙනවා

Saturday 12 March 2011

අළුත් සල්ලි


මේ දවස් වල ආපහු අලුතින් සල්ලි කොළ ගහලා 1000 විතරක් නෙමෙයි 2000 කොලේ වෙනුවට 5000 කොළේකුත් ගහලා. මන් නම් තාම 5000 කොළයක් ඇහැට දැක්කේ නැහැ. ලොකු කොළ ගැහුවා වගේ නෙමෙයි ඉතින් ඕවා මාරු කරගන්න ගියාම තමා වැඩේ. දැනුත් 1000ක් 2000ක් මාරු කරගන්නේ බොහොම අමාරුවෙන් ඉතින් 5000ක් ගැන මොන කතාද. ෂෙඩ් එකයි බාර් එකයි විතරයි තියෙන්නේ ඕක මාරු කරගන්න ඒත් 5000ක් නිසා ඒ දෙකෙනුත් ඕක මාරු කරගන්න ලේසි වෙන එකක් නැහැ.

අළුතින් සල්ලි , කාසි ගැහුවම හැමෝම ආසයි ඔය අළුත් සල්ලි තියා ගන්න. අළුත්ම අළුත් නේ. මුලදි වැඩිය දකින්නත් නැහැ . ඉඳලා හිටලා තමයි හම්බ වෙන්නේත්. ඒ කාලේට අර පරණ සල්ලි කොළ ගැන එච්චර තැකීමක් නැහැ. අළුත් කොල තියාගෙන පුළුවන් තරම් පරණ කොළ තමා වියදම් කරන්නේ. ඒත් ටික දවසක් ගියාම අළුත් කොළත් පරණ වෙනවා.

හැමතැනම අළුත් සල්ලි තියෙන්න ගත්තාම ඒවා ගැන තිබ්බ උනන්දුව අඩු වෙනවා. අළුත් සල්ලිත් පරණ වෙනවා . ඔන්න ඔයා කාලෙට අර පරණ සල්ලි කොළයක් හම්බ උනාම හරි වටිනවා. ඒවා පරිස්සම් කරනවා. හොයන්වා. පරිස්සමට තියා ගන්නවා. එතකොට අළුත් කොළ ගැන මුලදි තිබ්බ තරම් උන්නන්දුවක් නැහැ. පරණ සල්ලි තමා වටින්නේ. ඔය හැම කොලේකම අගේ නම් ඒකයි කාලෙන් කාලෙට වෙනස් විදිහට සැලකුවට

අපේ ජීවිත වල සමහර පුද්ගල සම්බඳාතාත් මේ වගෙද මන්දා, එච්චරයි මට හිතුනේ නම්.

ඡායාරූපය මෙතනින්

Saturday 5 March 2011

අපි දිනුම්


1996 ලංකාවේ කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානය දින්නා. ඕක දින්න කියලා අපිට මොනාද ලැබුනේ. සෙල්ලම් කරපු ක්‍රීඩකයන්ට සල්ලි ලැබුනා සමහර අයට වාහන ලැබුනා. හැබැයි ඒ ලැබුන දේවල් සේරම ලැබුනේ ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායමට සහ ඒ ආශ්‍රිතව කටයුතු කරන අයට. රටට මොනාද ලැබුනේ කීර්තියක් ලැබුනා වගේ දේවල් කියයි. සමහර විට මන් නොදැනුවත්ම ලැබුන දේවල් ඇති ඒත් හැබෑටම අපිට මොනාද ලැබුනේ . සමහර විට මාසේ අන්තිමට වෙනදට වඩා වැඩි ලයිට් බිලක් ඒ ඇරුනම වෙන මොනා ලැබුන්ද මන් දන්නේ නැහැ.

බොන එක ගැන සමහරු අහනවා බීලා ලැබෙන්නේ මොනාද කියලා. බොන අය කියන්නේ බිව්වම ජොලි කියලා. එතකොට නොබොන කෙනෙක් කියනවා බීමේ ආදීනව ගැන, තේරුමක් නැති එක ගැන. වෙන හානි ගැන. එතකොට අපි බොන එකෙන් රටට ලැබෙන දේවල්. බොන අය කියන්වා විශාල වශයෙන් බදු ආදායමක් ලැබෙනවා කියලා. නොබොන අය කියන්නේ ඒ සල්ලි බොන අයගේ ලෙඩ හොඳ කරනන් වැය වෙනවා කියලා.

මේ පාර ක්‍රිකට් ලෝක කුසලානය කියන එක වෙනදට වඩා ගොඩක් විකිනෙන දෙයක්. රේඩියෝ ටීවී පත්තර වගේ ජනමාධ්‍ය වලට මේක සල්ලි උල්පතක් වෙලා. ක්‍රිකට් ගහන අයට කොහොමත් සල්ලි ලැබෙනවනේ. ඒ ඇරුනම පත්තර වල පිටු පුරෝලා ටීවී ගැන දැන්වීම් වලින්. ලක්ෂ ගනන් ටීවී, ගෙවන්නත් ගන්න පුළුවන්.

හැබෑටම ඔය ක්‍රිකට් මැච් බැලිල්ලෙන් අපිට මොනාද ලැබෙන්නේ. සමහර විට වැඩිපුර ලයිට් බිලක්, ගෙවන්න ටිවී ගත්තා නම් ඊලඟ වල්ඩ් කප් එක වෙනකන් ගෙව ගෙවා ඉන්න බිලක්, තව ටීවී චැනල් එකත් සල්ලි වලට ගත්තා නම් ඒකටත් බිල. ඕවා ඇරුනම වෙන මොකුත් ලැබිලා තියේද කියලා නම් මන් දන්නේ නැහැ

අරක්කු බීම් සහ ක්‍රිකට් සසඳන්න නෙමෙයි හැදුවේ වෙන දෙයක් කියන්න.

ඡායාරූපය මෙතනින්

Sunday 30 January 2011

කාන්තාරයේ දරුවො

වාරිස් ඩයරි සහ කොරින්නා මිල්බෝන් විසින් ලියපු Desert Children (කාන්තාරයේ දරුවෝ) (පරිවර්තනය රංජිත් කුරුප්පු) කියන පොත, වාරිස් ඩයරිගේ කාන්තාරයේ කුසුමක් කියන පොතේම දිගුවක්. වාරිස් ඩයරි කියන ප්‍රසිද්ද නිරූපිකාව කුඩා කාලේ ස්ත්‍රී චර්මඡේදනයට ලක් වෙනවා. ලැබූ අත්දැකීමේ අමිහිරි මතකයන් සහ ප්‍රතිඵල ජීවිත කාලයටම උරුම වෙච්ච ඇය ස්ත්‍රී චර්මඡේදනයට එරෙහිව සටන් කරනවා.

සමහර අවස්තාව වාරිස් පුදුම වෙනවා කාන්තාවක් ඒ තරම් පීඩාවට පත් කරන ආගමික චාරිත්‍රයක් කරන්න උනන්දු වෙන්නේ එම අදාල දැරියගේ පියා හෝ පිරිමි නෑදෑයන් නැතුව කාන්තාවන්ම වීම ගැන. දැරියන්ගේ පවුල් වල වැඩිහිටි නෑදෑ කාන්තාවන්ම විසින් තමා මේ කටයුත්ත බලහත්කාරයෙන් සිදු කරන්නේ.

ලංකාවේ කසාද බැඳපු ගැනු ලමයින්ගේ පිරිසිදුකම හොයන කටයුත්තටත් සහබාගී වෙන්නේ මනමාලයගේ වැඩිහිටි නෑදෑ කාන්තාවන්ම තමයි. ඕකට පිරිමි සහභාගීවෙන්නේ ඊට පස්සේ තමාලු. චිත්‍රපටියක හැර මම සැබෑ ලෝකේ නම් එහෙම සිදුවීමක් දැකලා නැහැ. ඒ ඇරුනම ඉඳලා හිටලා පුවත්වත් වල නම් දැකලා තියේ. ඇත්තටම මේ කියන චාරිතය ලංකාවේ තාම සිද්ද වෙනවද කියලා මට අදහසක් නැහැ ඒත් එහෙම වෙනවනම් ඒක දිගටම පවත්වාගෙන යන්නේ නම් කාන්තාවන්ම විසින් තමා. ඒත් ඒ ගැන ඇඟිල්ල දික් වෙන්නේ පිරිමියාට.

මාමණ්ඩිය සහ ලේලි අතර හබ ගැන අහන්න වෙන්නේ කලාතුරකින් ඒත් නැන්දම්මා සහ ලේලි අතර රණ්ඩු දබර කියන එක හරිම සාමාන්‍ය දෙයක් වෙලා. මම කියන්නේ කාන්තාවන් පීඩාවට පත්කිරීම පිරිමින් අතින් සිද්ද වෙන්නේ නැහැ කියලා නෙමෙයි ඒත් ඒ හා සාමානවම හෝ සමහර විට ඊටත් වඩා ඒක කාන්තාවන් අතිනුත් සිද්ද වෙනවා කියන එක

Sunday 23 January 2011

කේන්දරය

ලංකාවේ ඉන්න සිංහල බෞද්ධයන්ට තියෙන වටිනාම ලියවිල්ල මේක තමා. අනික් ආගම් වල අය ගැන මන් වැඩිය දන්නේ නැහැ ඒත් අපේ අයට නම් කේන්දරේ තරම් වැදගත් ලියවිල්ලක් නැතුව ඇති ඉපදිච්ච ගමන් වෙලාවට අනුව හදනවා කේන්දරයක්, සමහර වෙලාවට වෙලාවක් බලාලා උපද්දවන එකත් සමහරු කරනවාලු. ඊලඟට නමක් දාන එක මොකෝ නමක් නැත්නම් ඒ ඉපදිච්ච ප්‍රාණියට ජීවත් වෙන්න වැඩපල කරගන්න විදිහක් නැති නිසා.

ඊට පස්සේ මිනිස්සු ගැමදේම කරන්නේ මේ මහා බලගතුයි කියන කේන්දරේ අනුව. අකුරු කියවන්න, ඉඳුල් කටගාන්න, සමහරු කොන්ඩේ කපන්නත්, කසාද බඳින්නේ, ගෙවල් වලට පදිංචියට යන්නේ ඔය වගේ හැමදෙයකටම කේන්දරේ මුල් කරගන්නවා.

අකුරු කියවන්නේ නැකතට උනාට ඉස්කෝලේට ඇතුලත් කරගන්න ලියවිලි අතරේ කේන්දර කොපියක් අමුනන්න ඕනේ කියලා කතාවක් නැහැ මන් දන්න විදිහටනම්. කලින්ම කේන්දරේ බලලා ඉගෙන ගන්න පුළුවන්ද බැරිද එක අනුව ඉස්කෝලේට ගත්තා නම එතන හැමොටම ලේසියි ඒත් ඒක කරන්නේ නම් නැහැ.

මන් දැන් රස්සාවල් වල සම්මුඛ පරීක්ශන ගොඩකට ගිහින් තියෙනවා ඒත් එකකින්වත් මගෙන් කේන්දර කොපියක් ගැන අහලා නැහැ. ඊට වඩා ඕලෙවල් සහතිකේට සලකනවා. ඇයි දන්නේ නැහැ ආයතනවලින් කේන්දරේ බලලා වැඩ කරන්න පුළුවන්ද බැරිද කියන එක අනුව මිනිස්සුන්ව ගන්නේ නැත්තේ එකපාරම. කසාද බඳින්නේ නැතුව ඉන්න පුළුවන් කෙනෙක්ට ඒත් ජීවත් වෙන්න රස්සාවක් කියන එක නැතුව බැහැ ඒත් ඒතරම් වැදගත් රස්සාවක් ලබාදෙන තැනදි කේන්දරේට සැලකිල්ලක් නැහැ.

කේන්දරය කියන එක කවුරු හරි කෙනෙක් හදලා දෙන දෙයක් ඒත් විභාග වලින් ලබන සහතික වගේ දේවල් අපිම මහන්සියෙන් ලබාගන්න දේවල් ඒවාට තියෙන තරම් වටිනා කමක් ප්‍රායෝගික ජීවිතේ කේන්දරේට නැහැ ඒත් සමහර මිනිස්සුන්ව පාලනය කරන්නේ කේන්දරේ. ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙනෙන කියන එක නම් මට තේරෙන්නේ නැහැ

Tuesday 26 October 2010

අපි ඇත්තටම ආදරේ

හැබැයි හැමෝම මෙහෙම නැහැ සමහර අය විතරයි

පුංචිම කාලේ ආදරෙන් රැකබලාගන්න අම්මලා තාත්තලට වඩා මොනා හරි ගෙන්ත් දීලා ටික වෙලාවකට නලවලා යන්න පවුලේ නැදෑ හිතවතුන්ට ආදරේ කරනවා.

ඊට කාලෙකට පස්සේ ඉඳන් දෙමව්පියන්ට, පවුලේ සහෝදර සහෝදරියන්ට වඩා කොහේවත් ඉන්න කෙල්ලෙක්ට නැත්නම් කොල්ලෙක්ට ආදරේ කරනවා. ඒ කරන්නෙත් තමන්ට කැමති කෙනෙක්ට නෙමෙයි තමන්ව සත පහකට ගනන් ගන්නෙ නැති කෙනෙක්ට තමා.

කසාද බැඳපු කාලෙක් නැත්නම් පෙම්වතියක් ඉන්න කාලෙක තමන්ගේ බිරිඳට නැත්නම් පෙම්වතියට වඩා වෙන කාගේ හරි බිරිඳකට නැත්නම් පෙම්වතියකට ආදරේ කරනවා. ඒ කෙනා ඉන්නේ ලාබ ප්‍රයෝජන සඳහා විතරක්ම වෙන්න පුළුවන් ඒත් ඒත් රැවටිලා ඒ මත්තෙම නැහෙනවා.

වයසට ගියාම තමන්ව තනිකරලා ඒ අයගේ ජීවිත ගත කරනන් වෙන් වෙලා යන, බැරි කාලෙක බලන්නේ වත් නැති දරුවන්ට ආදරේ කරනවා.

ආදර කියනේ මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැතුව දෙන දෙයක් කියනවා නේ ඒ අතින් බැලුවම අපි හරියට ආදරේ කරනවා. අපි හැම වෙලේම ලේසියෙන් ලැබෙන දේවල් වලට වඩා නොලැබෙන දේවල් වලට කැමති නිසාද මෙහෙම වෙන්නේ???

අපිව පොඩ්ඩක් වත් ගනන් ගන්නේ නැති කෙනෙක්ට ගොඩක් ආදරේ කරලා හිතට දුකක් දැනුනම තමා තේරෙන්නේ අපි නොසලකා හිටපු අය අපිට කොච්චර ආදරේ කරලද කියලා....

ඇත්තටම අපි ආදරේ, අපිට ආදරේ අයටද???

Monday 25 October 2010

ලොකුම තරහාකාරයා

මේ ලොකේ ඉන්න අනික් හැමෝම තමන්ට අනතුරක් කරන්න ඉන්නේ කියලා හිතාගෙන ඉන්න මානසික රොගයකින් පෙළෙන අය ඇරුනම අනික් හැමෝගෙම වගේ ලොකුම තරහාකාරයා කලින් තමන්ගේ හිටපු ලඟම හිතවතා කියලා මටනම් හිතෙන්නේ.

ජීවිතේම එකට ඉන්න හිතාගෙන ඉන්න පෙම්වතුන් විරසක උනාම ලොකුම තරහා කාරයෝ වෙන්නේ කලින් ආදරෙන් හිටිය අයද කියලා හිතා ගන්නත් බැරි විදිහට. එක පවුලේ සහෝදර සහෝදරියන් හොඳම යාළු මිත්‍රයෝ දෙමව්පියෝ දූ දරුවන්. මේ අය හරිනම් අනික් අයත් ආදර්ශයක් වෙන විදිහට එකිනෙකා බැඳී ඉන්න ඕනේ ඒත් වෙන්නේ ඕකේ අනික් පැත්ත.

ගොඩක් සමීප උනාම අපිට අනිකාගේ වැරදි වැඩිපුර පේනවද? ඒත් එයා එක්ක තියෙන සම්බඳතාවයේ ප්‍රමානය මත අපිට ඒක ඉවසන්න බැරිද? පාරේ යන ගැනු මිනිස්සු එක්ක රණ්ඩු නොවුනට එක ගෙදර අය කොච්චර ගහබැන ගන්නවද?

මිතුරන් හතුරන් උනාම නිකන් හතුරන්ටත් වඩා දරුණු වෙනවා මොකද එයාලා අපි ගැන දන්න නිසා, ඒ දන්න දේවල් පවා අපිට එරෙහිව යොදා ගන්න නිසා. පෙම්වතුන් තරහා උනාම තමන්ගේ පෙම්වතියට නින්දා අපහාස කරන පෙම්වතුන් කොච්චර පහත් විදිහේ වැඩ කරන්වද?

සැබැවිනම් සිදුවිය යුත්තේ මේයද? අඩුම ගානේ අපිට බැරිද ඒ අයට සමාව දෙන්න ඒයාලට අපි දවසක් හරි ආදරේ කලා, අපි එයාලා එක්ක එකට හිටියා, එයාලා මගේ පවුලේ අය කියලාවත්?? මේක මෙහෙම වෙන හැටි තමා මට හිතා ගන්න බැරි.